රග්බි සභාපති රිස්ලි ඉල්යාස්
කියයි
ශ්රී ලංකා ගුවන් හමුදාව සහ ශ්රී ලංකා රග්බි ආයතනය එක්ව මෙහෙයවනු ලබන ‘ගුවන් හමුදාපති කුසලාන’ අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියෙන් මහනුවර, සී.ආර් ඇන්ඩ් එෆ්.සී. සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්රීඩා සමාජ ත්රිත්වය ඉවත්වීමට තීරණය කළ ද, නියමිත පරිදි තරගාවලිය පැවැත්වෙන බව ශ්රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉල්යාස් මහතා ප්රකාශ කළේය.
පවතින කොරෝනා වසංගතයේ තත්ත්වය හමුවේ බරපතළ ආර්ථික ගැටලු රැසකට මුහුණ දී සිටින බැවින් ඉහත කී ක්රීඩා සමාජ මේ තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර ඇති අතර, සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්රීඩා සමාජයේ ක්රීඩකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව ද වාර්තා වේ. ඒ අනුව ඔවුන් සමඟ පුහුණුවීම් කටයුතුවල නිරත වූ තවත් ක්රීඩකයන් රැසකට ස්වයං නිරෝධායනය වීමට සිදු වී ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
කොරෝනා වසංගතයේ ව්යාප්තියෙන් පසු මෙරට පැවැත්වෙන පළමු රග්බි තරගාවලිය වන ගුවන් හමුදාපති කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර ලබන මාර්තු මස 20 සහ 21 දෙදිනත්, දෙවැනි අදියර මාර්තු මස 26 සහ 27 දෙවැනි අදියරත් පැවත්වීමට කටයුතු යොදා තිබේ.
“කොරෝනා වසංගත තත්ත්වය තුළ අපට මෙවැනි අර්බුදවලට මුහුණ දීමට සිදු වන බව දැන සිටියා. ඒත් අපි මෙරට රග්බි ක්රීඩාව ආරම්භ කර ඉදිරියට රැගෙන යා යුතුයි. ඒ නිසා මම සිතනවා දැනට ඉතිරිව ඇති කණ්ඩායම් 5ට අමතරව තවත් කණ්ඩායමක් ඇතුළත් කරමින් කණ්ඩායම් 6ක තරගාවලියක් ලෙස පැවැත්වීමේ හැකියාව තිබෙනවා. ඒ හැරත් ඉදිරියේදී මෙවැනි ගැටලු හේතුවෙන් හැව්ලොක්ස් ක්රීඩා සමාජයත් තරගාවලියෙන් ඉවත් වන්නේ නම් ත්රිවිධ හමුදා කණ්ඩායම් සහ පොලිස් ක්රීඩා සමාජය සමඟ කණ්ඩායම් 4ක තරගාවලියක් ලෙස හෝ තවත් දෙවැනි පෙළ කණ්ඩායම් කිහිපයක් සහභාගි කරවමින් කණ්ඩායම් 8ක තරගාවලියක් ලෙස හෝ පැවැත්වීමට හැකියාව තිබෙනවා. අපිට විකල්ප කිහිපයක්ම තිබෙනවා.” ඉල්යාස් මහතා කියා සිටියේය.
ඉදිරියේදී ගුවන් හමුදාපති කුසලානය නිරාවරණය කරමින් තරගාවලිය ආරම්භ කිරීම සම්බන්ධව නිල මාධ්‍ය හමුවක් පැවත්වීමට කටයුතු යොදා ඇති බවත්, තරගාවලියේ නව මුහුණුවර පිළිබඳ එදිනට අනාවරණය කරන බවත් ඔහු වැඩි දුරටත් කීවේය.
“කොරෝනා තත්ත්වය තුළ මෙවැනි තරගාවලියක් පැවැත්වීමට ඇති හැකියාව සහ එම තරගාවලිය පැවත්වීමට සැලසුම් කර ඇති ආකාරය පිළිබඳ අප ඉදිරිපත් කළ වාර්තාවට ක්රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබීමත්, සෞඛ්‍ය අමාත්යාංශයේ අනුමැතිය ලැබීමත් ලොකු ජයග්රහණයක්. ඒ නිසා කෙසේ හෝ තරගාවලිය සාර්ථකව පවත්වමින් මෙරට රග්බි ක්රීඩාව ඉදිරියට රැගෙන යාම රග්බි ආයතනයේ මෙන්ම ගුවන් හමුදාවේ සහ අනුග්රාහක ඩයලොග් ආයතනයේ එකම බලාපොරොත්තුවයි.” රග්බි සභාපතිවරයා කියා සිටියේය.
http://www.dinamina.lk/2021/02/13
©2018 - SRI LANKA RUGBY - All Rights Reserved
Site by www.stats.lk